තවත් ප්රශ්න

මලික් නිතර සතුටින් ඉන්න, විහිළු වලට කැමති කෙනෙක් මිස බරපතළ කතා වලට සාමාන්යෙන් එක්වෙන කෙනෙක් නෙවෙයි. නමුත් මලික්ගෙ අන්තිම වචන ටික අපෙ අනාගත ජීවිතේට ඉතාම වැදගත් කියලා මට හිතුනා.

මම, නීලගෙ සහයත් ඇතුව, බහු-විශ්ව මතය ඉදිරිපත් කළේ දූපත් ඇතිවන/නැතිවන අවස්ථා අපිට බලපාන හැටි පැහැදිලි කරන අදහසින්. නමුත් මලික්ගෙ ‘ඇයි අපෙ පරණ ජීවිත තවම මතක?’’ ප්රශ්නයට මට උත්තරයක් නෑ. මුලදී මම හිතුවේ රටක් සමග තද බැඳීමක් ඇති කෙනෙකුට පරණ මතක තිබිය හැකි කියලා. නමුත් බහු විශ්ව මතය අනුව එහෙම මතක පවත්වාගන්න ක්රමයක් නෑ.

මගෙ බහු විශ්ව මතය සම්පූර්ණෙන්ම වැරදිද? මලික් කියපු ‘අපිට නොතේරෙන දේවල්’ වලින් පෙන්වන්නේ බහු විශ්ව මතයේ විශාල හිඩැසක්ද? මේවා ගැඹුරට විභාග කරන්න අවශ්ය ප්රශ්න. ලොකු විශ්වාසකින් ඉදිරිපත්කළ මතයේ අඩුපාඩු දැකීම විද්යා පරීක්ෂණයකින් බලාපොරොත්තු වූවාට හාත්පසින්ම විරුද්ධ ප්රතිඵල ලැබීමක් වගේ මට දැනුනේ. ඒ ගැන මට ඇතිවුනේ කනගාටුවකටත් වඩා අලුත් ප්රශ්න විසඳීමේ දැඩි උනන්දුවක්.

මම ජෝඩුවෙන් සමුගත්තේ ආපහු කාමරේට ගිහින් මේ ප්රශ්න වලට උත්තර තනියම සොයන අදහසින්. මගෙ දුක්මුසු මුහුණ දැකලා වෙන්න ඇති නීලා අදත් රෑ කෑමට මට ආරාධනා කළේ.

මම දවල් කෑමට පාන් කෑල්ලක් කාලා තේ එකක් බිව්වා. මගෙ හිතේ තිබුනේ ඊයෙ රෑත් නිදි මරපු නිසා දවල්ට පොඩ්ඩක් නිදා ගන්න. පුරුදු විදිහට පොතකුයි වතුර බෝතලේකුයි අරගෙන දවල් එකට විතර ඇඳේ ඇලවුනේ පොත කියවන බලාපොරොත්තුවෙන් නෙවෙයි.

මම ඊ ලඟට වෙලාව බලනකොට හවස පහට කිට්ටුයි! මම තේ එකක් හදාගෙන බැල්කනියේ පුටුවක වාඩිවුනේ නින්දෙන් ලැබූ නිසල, නිරවුල් සිතකින්.

මට හොඳට නින්ද ගියාද නැද්ද කියලා හරියට නිච්චි නැතිවුනාට දැකපු සිහින මාලවක් නම් හොඳටම මතකයි. ඒවගෙන් එක ‘ජවනිකාවක’ මලික්ලා දෙසිය පනහකුයි නීලලා දෙසිය පනහකුයි එක උඩ එක හදලා තියෙන ෆ්ලැට් දෙසිය පනහකට ඇතුල් වෙන්න පොරකනවා. තව එකක මලික් මාත් එක්ක කතා කර කර ඉන්න ගමන් අතුරුදහන් වෙනවා. තවත් එකක මම ලංකාවේ ඉන්න ‘මට’ ටෙලිෆෝන් එකෙන් කතා කරනවා… මගෙ හිතේ කැකෑරෙන බහුවිශ්ව වලින් හීනෙන් වත් ගැලවෙන්න බැරි බව හොඳටම පැහැදිලියි.

මම දැකපු එක භයංකර හීනයක් මගෙ හිත හොඳටම කම්පා කරන්න සමත්වුනා. ඒ ලංකාව නැතිවූ වෙලාවේ ලාංකික ගුවන් නියමුවෝ විසින් පැදවූ ගුවන් යානයක් පිළිබඳවයි. හදිසියේ නියමුවෝ අතුරුදහන් වී පොලව කරා වේගයෙන් ඇදී එන යානයෙන් නැගුනු මගී විලාප වලින් මගෙ හදවත දෙදරා ගියා. යානය පොලවට වැටීමට පෙර හීනය වෙනස්වුනත් මගී විලාප ලේසියට හිතෙන් ඉවත් කරන්න මට බැරිවුනා.

මේ හීනෙන් පෙන්වූ විපත ඇත්තෙන්ම වියහැකි දෙයක්ද?

ලංකාව මෙන්ම අනික් දූපතුත් අතුරුදහන්වූයේ එරට වෙලාවෙන් හරියට මධ්යම රාත්රියේ. ඒ වෙලාවට ඒ ඒ දූපත්වල පදිංචිකාරයෝ කී දෙනෙක් දූපතෙන් පිට හිටියද? අපි වගේ දිගු කල් පිටරට ජීවත්වන්නෝ මෙයින් එක කොටසක් පමණයි. කෙටි කාලයකට රටින් පිටවෙන්නොත් දුලභ නොවන බව සහතිකයි. දිනපතා දූපතින් යන එන යන ධීවරයෝ, ගුවන් නියමුවෝ වගේම කෙටි සහ මද්ය කාලීන ගමනේ යෙදෙන පිටරට රැකියා කරන්නෝ, නිල ගමන්වල යෙදෙන්නෝ, සංචාරකයෝ වැනි අයගේ එකතුව සැලකියයුතු ගණනක් වෙන බව නිසැකයි. මවු දූපත නැතිවී ගියොත්, ඔවුන්ගේ ඉරණම කුමක්ද?

බහු-විශ්ව මතය අනුව ඔවුන් හදිසියේ අතුරුදහන් වෙන්නෙ නෑ.

අපිට දැනට වැටහෙන විදිහට අයිති ඉරණම අනුව ඔවුන් කාණ්ඩ දෙකකට බෙදිය හැකියි. මෙයින් පළමු කාණ්ඩයට අයිති වෙන්නේ අපි වගේ අය - දැනට ලංකා කවයෙත් අනික් ‘නැතිවූ දූපත් කව’ වලත් සාමාජිකයෝ මේ කාණ්ඩයේ. මේ කාණ්ඩයේ ආවේණික ලක්ෂණය වෙන්නේ මව් රට ගැන මතකයන් නොමැකි තිබීමයි. ඒකයි අපි නැතිවුන ලංකාවක් ගැන දුක් වෙන්නේ.

දූපත නැතිවීමෙන් ලබන ඉරණම අනුව දෙවෙනි කාණ්ඩය සමන්විත වෙන්නේ අපි ඉන්න විශ්වයේ දැන් නැති අයගෙන්. නීලගෙ යාළු සනත්, මගෙ පරණ යාළු මෙල්බන් නගරේ හිටපු සිරිල් ඩයස් වගේ අය ලංකාව නැතිවුන වෙලාවෙන් පස්සේ අපි ඉන්න විශ්වයේ නෑ. ඒ අය ඒ අයගෙ විශ්වයේ/විශ්වවල ජීවත් වෙනවා ඇති - කොහෙ හරි. ඒ අය ඉන්නේ මෙහෙ ඉන්න අපි නොදන්න ලංකාව තියෙන විශ්වයක.

පළමු කාණ්ඩය ගැන තොරතුරු සෙවීම ලේසියි - අපිත් ඒ කාණ්ඩයේ ඉන්න නිසා. නමුත් දෙවෙනි කාණ්ඩයත් එක්ක අදහස් හුවමාරු කරගන්න බෑ - දෙවෙනි කාණ්ඩයක් ඉන්නවද නැද්ද කියලා නිශ්චිතව කියන්න අපිට බෑ. අපෙ විශ්වයේ නැති මේ කාණ්ඩය දෙස මම සිත යොමුකළා.

අපි පිළිගත්තොත් නීලගෙ පරණ යාළුවා සනත් වෙන විශ්වයක ඉන්නවා කියලා, අපිට එයා ගැන මතකක් තිබුනට ඒ විශ්වයේ සනත්ට අපි මතකද? බ්රිස්බන් මතකද? … අනික් අතට අපිට හිතන්න බැරිද නීලයි මලිකුයි පොරකනවා මම හීනෙන් දැක්ක එක විශ්වයක සනතුත් ඉන්නවා කියලා? නමුත් එහෙම, ලංකාව තියෙන විශ්වයක මම බ්රිස්බන් වල නෑ - මම ආපහු ලංකාවට ගිහින්!

දිගටම ඒ විදිහට හිතුවොත් දැන් ‘මම’ ලංකාවේ. ගලගෙදර ඇලේ නාලා ඉස්සරහ හාන්සි පුටුවේ වාඩිවෙලා වෙල් යාය දිහා බලාගෙන ඉන්නවා ඇති! අම්මයි නංගියි එහෙමත් එතන ඇති. මල්ලී මේ සති අන්තයට ගෙදර ආවනම් මල්ලිත් ඇති… දැන් මෙහෙ වෙලාව පහ හමාරයි - ඒ කියන්නේ ගමේ දවල් කෑම කන වෙලාව. ඉරිදා නිසා මොනවද දන්නෙ නෑ උයල තියෙන්නේ - දෙල්? පොල් සම්බල්? වත්තෙන් ගලවපු අල ජාතියක්? ඇස් බාගෙට වැහිලා මනසෙන් ගලගෙදර ගිය මට ඇහැරුනේ කවුදෝ දොරට තට්ටු කරන සද්දෙට. ගලගෙදරත් බහු විශ්වත් ක්රමයෙන් දියවෙලා ගිහින් මගෙ බ්රිස්බන් නවාතැන ආයෙත් මා වටේට ගොඩනැගුනා.

මම සුසුමක් හෙලලා පුටුවෙන් නැගිටලා දොර ඇරියේ මලික්ට.

“මේ ලලිත්… ඩේවිඩ් මරේ වෙස්ට් ඉන්ඩීස් ටීම් එකේ!”

මලික් මෙහෙම කිව්වේ පත්තරයක් මගෙ මූණේ ගහලා. මම කවදාවත් දැකලා නෑ මලික් මේ තරම් කැළඹිලා කිසිම දෙයක් ගැන. නමුත් මට කිසිම අදහසක් නෑ මලික් කියන්නේ මොකද්ද කියලා.

“කවුද?”

“ඩේවිඩ් මරේ… එවටන් වීක්ස්ගෙ පුතා… අද වෙස්ට් ඉන්ඩීස් ටීම් එකේ…”

මලික්ට වැදගත් ඇති මේ ප්රවුර්තිය… නමුත් ඇයි මට කියන්නේ?

“සොරි මලික්… මම ක්රිකට් ගැන වැඩිය දන්නෙත් නෑ… ඇත්තටම දැනගන්න ආසාවකුත් නෑ… ඇයි වාඩිවෙලා කියන්නෙ නැත්තේ ඔය ප්රවුර්තියේ වටිනාකම”

මලික් ඇතුලට ඇවිත් වාඩිවුනාට මා දිහා බැලුවේ අමුත්තෙක් දිහා බලනවා වගේ.

“ලලිත් දන්නෙ නෑ නේද එවටන් වීක්ස්?”

“නෑ”

“වෙස්ට් ඉන්ඩීස් ටීම් එකේ… මාර… ඒවා කියලා වැඩක් නෑ දැන්. හැබැයි ඩේවිඩ් මරේ ටීම් එකේ ඉන්න එක වැදගත්…”

මම මොකුත් කිව්වෙ නෑ, මලික්ටම හිස්තැන් පුරවන්න ඉඩ දීලා.

“ඩේවිඩ් මරේ බාබේඩොස් මිනිහෙක්… මිනිහා ටීම් එකේ ඉන්නවා කියන්නේ බාබේඩොස් ආයෙත් තියෙනවා!”

ඒ සැරේ මමත් වාඩිවුනා. මලික් කියනදේ හරිනම් මගෙ බහු විශ්ව මතය ආයෙත් වෙනස් කරන්න වෙනවා. හේතුව - බාබේඩොස් නැති විශ්වයේ හිටපු අපි ඒ දූපත තියෙන විශ්වයේ දැන් ඉන්නේ. එකකින් අනිකට පැනලා. මේ බව ඇත්ත කියලා ඔප්පු කරන්නේ කොහොමද කියලා මට ඒ වෙලාවේ හිතට ආවා.

“මලික්… පහලට ගිහින් නැතිවුන රටවල් ලයිස්තුව ගේනවද? නීලත් එක්ක ආවොත් හොඳයි. මම ශෙලී පීටසන්ට කෝල් කරලා බලන්නම් එයා… එයා ඉන්නවද… එයා රට නැතිවුන බව දන්නවද… ඒ වෙලාවට ඩිසයිඩ් කරන්න වෙනවා අහන්නේ මොනවද කියලා…”

………………………………..

ඉරිදා දවල්ට කාලා නුවර එන්න බලාපොරොත්තුවෙන් ඉන්න නිසා උදේ වරුවේ මම පීටර්ට අපෙ ගම පෙන්නන්න එක්ක ගියා. සෙනසුරාදා හවසත් රෑත් මතක්වෙලා මට හරිම සතුටක් දැනුනා.

අපි තුන්දෙනා ඊයේ නුවරින් පිටත්වුනේ දෙක හමාරට විතර. ඒ හවස තේ වෙලාවට ගෙදරට එන්න කල් තියාගෙන. පීටර්ගෙ මම කැමති එක ගතිගුනයක් තමා අනවශ්ය ප්රශ්න නොඇසීම. ‘ඇයි මිනිස්සු පාර මැද ඇවිදින්නේ?’, ‘වැස්ස නැතුවත් කුඩ අටවාගෙන යන්නේ?’, ‘කෑම මේසේ මේ තරම් දීසි ගොඩක්?’ – මේ වගේ ප්රශ්න වලට පිටරැටියෙකුට තේරෙන උත්තර නැති බව පීටර් දන්නවා. දවස් දෙකකින් රටක් තේරුම් අරගෙන වැසියන්ට අවවාද දෙන ජාතියේ මිනිහෙක් නෙවෙයි එයා. මගදී අහපු එකම ප්රශ්නේ ‘ගමේ තැඹිලි තියෙනවද’ කියලා.

පීටර් අම්මටයි නංගිටයි දෙන්නටම අත් දෙක එකතු කර ආචාරකළේ ‘හලෝ’ කියලා. අම්මට හිනා ගියත් ‘හලෝ’ කිව්වා - නංගී ‘වෙල්කම් පීටර්’ කිව්වා. අපි කෙලින්ම ගියේ තේ මේසෙට.

අම්මයි නංගියි සරල තේ මේසයක් ලෑස්ති කරලා තිබුනේ. වැලි තලප, අග්ගලා, කඩෙන් ගෙනා ආස්මී සහ තලගුලිත් එක්ක කෙසෙල් ගෙඩි වර්ග දෙකක් තිබුනා. අම්මයි නංගියි මේසෙට ආවෙ නැතත් පීටර්ගේ පළවෙනි ප්රශ්නේ ගියේ අම්මට. පොත්ත රතු ‘රතඹල’ කෙසෙල් ගැන - බ්රිස්බන් වල ඒවා නැති නිසා.

“මේකක් කාලා බලන්නද?”

අම්මා කෙසෙල් ගෙඩියක් කඩලා පීටර් අතටම දුන්නා. ප්රශ්න වලට උත්තර වචන වලින්ම එන්න ඕන නෑ. වැලි තලප කෑලි දෙකකට පස්සේ මම පීටර්ට රෑ කෑමටත් බඩේ ඉඩ තියාගන්න ඕනෑ බව මතක්කළේ අම්මගෙන් රැවුමකුත් පීටර්ගෙන් හිනාවකුත් ලබාගෙන. තේ බොන ගමන් මම ඇලේ නෑමත් රෑ නිදාගැනීමත් ගැන කීවා. අම්මා වැඩියි කතා නොකරට අනික් අයගෙ කතාවලට හොඳින් කන්දුන්නා. නංගිත් ඉඳ හිට ප්රශ්නෙකට උත්තර දුන්නත් වැඩිය කතාකළේ නෑ. මල්ලී විතරක් එයාගෙ ස්ථාවරය මුළින්ම පැහැදිලිව කිව්වා.

“සොරි පීටර්… මට ඔයාගෙ ඉංග්රීසි තේරෙන්නෙ නෑ… ඔයාට මගෙ ඉංග්රීසිත් තේරෙන්නෙ නැතුව ඇති!”

පීටර් ඉස්සරවෙලාම හයියෙන් හිනාවුනා.

“ලලිත් බ්රිස්බන් ආපු දවස්වල වගේ! හැබැයි වැඩිකල් ගියෙ නෑ යාළුවෙන්න!”

මල්ලී පීටර් එක්ක වඩා යාළුවුනේ ඇලේ නාන ගමන් එක වීදුරුවේ අරක්කු බොන වෙලාවේ. මට සතුටක් දැනුනා මල්ලිටයි මටයි පුරුදු හැසිරීම් පීටර්ට වැඩියම අමුතු බවක් නොදැනුන බව දැක්ම. අපිට පුළුවන් පීටර්ට අව්යාජ ලාංකික අත්දැකීම් ලබාදෙන අතරේ අපෙ සාමාන්ය හැසිරීම ගෙනයන්න.

“මේ වතුර හරිම සනීපයි දවස රස්නේ නිසා… තැන්ක්යූ මෙතෙන්ට එක්ක ආවට. තැන්ක්යූ අනුර බීමට!”

හොඳ වෙලාවට ගමේ කවුරුත් ඇලේ හිටියෙ නෑ. ඒ නිසා අපි පැයක් විතර ඇල ලඟ හිටියා. නමුත් කවුරුත් බීම වීදුරු දෙකකට වැඩිය ගත්තෙ නෑ. අම්මයි නංගියි ගෙදර ඉන්න බව අමතක කරන්න අපිට බෑ. අම්මගෙයි නංගිගෙයි හිතට ලොකු සැනසුමක් වුනේ රෑ කෑමත් නිඳන ලකලෑස්තිත් වල කිසිම අඩුපාඩුවක් නැතිවීම ගැනයි. කටින් මොක කිව්වත් දෙන්නා හිටියේ මේවා ගැන අනුමානයෙන් බව පැහැදිලියි.

පීටර් මගෙන් හෙමින් ‘පිඟන් සෝදන්න උදව් වෙන්නද?’ අහපු ප්රශ්නේ නංගිට ඇහුනා. මං හිතන්නේ පීටර් සතුටින් ඉන්න බව නංගිට ඒකෙන් තහවුරුවුන බව පෙන්නුවේ මුහුණ පුරා පැතුරුන හිනාවකින්.

උදේ වරුව ගමේ ඇවිදලා දවල් කෑමෙන් පස්සේ මල්ලියි මමයි පීටර් නුවර එක්ක ආවා. මල්ලිත් මාත් සමග රෑ නැවතුනේ උදේ පාන්දර කෝච්චියේ කොළඹ යන්නයි. ඒ නිසා අපි තුන්දෙනාට එකට ටවුමේ රැ කෑම ගන්න අවස්ථාව ලැබුනා. පීටර් කිව්ව විදිහට ඒ කෑම ගැනම නෙවෙයි - මල්ලිටයි මටයි ස්තුති කරන්නයි පීටර් අපිට සංග්රහකළේ.

අපේ කතා… ඇත්තටම කිව්වොත් පීටර්ගේ කතා, බොහොමයක් අපෙ ගම ගැන. මීට පෙර ආසියාවේ ඇවිද නැතත් ඕනෑම තැනකට ඔබින විදිහට හැසිරෙන්න පීටර් දන්නවා. ඒ වගේම පීටර් ලංකාවේ පුරාණ සංස්කෘතියත් වර්තමාණ ආර්ථික ප්රශ්න ගැනත් යමක් ඉගෙනගන තිබුනා මෙහෙ එන්න ඉස්සර. ඒ නිසා අපිත් අපේ ගමත් තේරුම් ගන්න ඒ තරම් අමාරුවුන බවක් පෙනෙන්න තිබුනෙ නෑ.

මා පුදුම කරමින් මල්ලී පීටර්ට ස්තුති කරා. පීටර්ගෙ ප්රශ්නයට උත්තර දෙමින් ඔහු කිව්වේ ‘ලාංකිකයෙක් වගේ හැසිරීමට’ කියලා. පීටර්ට ඒ වචන සෑහෙන්න වටින බව පෙන්නුවේ තව බීම වටයක් ඇණවුම් කිරීමෙන්.

අපි කෑම බීම නැවැත්තුවේ හෙට උදේ මල්ලිට කොළඹ යන්න ඇති නිසාත් පිටර්ටත් මටත් මග් කන්තෝරුවට යන්න ඇති නිසා.

…………………………..

“හලෝ… මට ශෙලී පීටර්සන්ට කතා කරන්න පුළුවන්ද?”

“මේ ශෙලී - කවුද කතා කරන්නේ?”

“මම ලලිත්… බ්රිස්බන් වලින්…”

පොඩි නිහඬ තාවයකට පස්සේ ශෙලී කතාකළේ.

“සොරි… අපි හම්බවෙලා තියෙනවද?”

“සොරි ශෙලී… එක ප්රශ්නයකට උත්තර දෙනවද? ශෙලී ආවේ බාබේඩොස් දූපතෙන් නේද?”

“ඔවු…”

ඊට පස්සේ මම කොහොමද අහන්නේ ඒ දූපත තියෙනවද නැද්ද කියලා.

“තව එක ප්රශ්නයක්… සමාවෙන්න අහනවට. ශෙලී ‘නැතිවු දූපත්’ කියලා සමාගමක් ගැන අහලා තියෙනවද?”

“හේ… මේක විහිළුවක්ද? එහෙම එකක් මං දන්නෙ නෑ… ඔයාව දන්නෙත් නෑ!”

ශෙලී ටෙලිෆෝන් එක විසන්ධි කළා.

මම ආපහු කාමරේට එනකොට මලික්ලා දොර ලඟ බලාගෙන් ඉන්න්වා. නීලා ඉස්සරවෙලාම කතාකළේ නින්දෙන් හදිසියේ ඇහැරුන, තමංගෙ ඇස්දෙක වත් විශ්වාස කරන්න අමාරු කෙනෙක් වගේ.

“බාබේඩොස් අපෙ ලයිස්තුවේ නෑ!”

මම ඒ අවුලට තවත් එකතු කරා.

“ශෙලී පීටසන් මාව දන්නෙත් නෑ, ‘නැතුවුන දූපත්’ කවය ගැන අහලත් නෑ, ආවේ බාබේඩොස් වලින්ලු!”

මලික් අහිංසක වගේම ඉතා අදාළ ප්රශ්නයක් ඇහුවේ.

“ඒකේ තේරුම මොකද්ද?”

මම උත්තර දුන්නේ ටිකක් හිතලා.

“අපිට ශෙලී මතකයි, බාබේඩොස් නැති කාලේ මතකයි… ලංකාව මතකයි එහෙම රටක් දැන් නැතිවුනාට… මෙතන ප්රශ්නේ දූපත් වත් බහු විශ්වත් විතරක් නෙවෙයි... මං හිතන්නේ අපියි ටිකක් අමුතු මේවා මතකේ තියෙන්න!